සිතක දෑලවර- ලයට දැනෙන දුක (via සිතක දෑලවර)

කඳුලූ ලවන කොපුල් තලයෙ සදා වැතිරෙති….. දෙතොල සලන පිපාස‍යට එයින් කම් නැති….. සසර සරන තෙක් ආවද උරෙන් උර ගැටී.. ලයට දැනෙන දුක කිසිදා නිවන්නට බැරි‍‍…. කයට නැගෙන දාහය මැඩ සිසිල ගෙනෙන මඳසුළඟම චන්ඩ නපුරු සැඩසුළඟක් සේ…. සසර සරන තෙක් ආවද උරෙන් උර ගැටී.. ලයට දැනෙන දුක කිසිදා නිවන්නට බැරි‍‍…. අඳුර නසන පහන් සිලුව දසත පුරා එළිය කලද චන්ඩ නපුරු ලැව් ගින්නක් සේ සසර සරන තෙක් ආවද උරෙන් උර ගැටී.. ලයට දැනෙන දුක කිසිදා නිවන්නට බැරි‍‍…. … Read More

via සිතක දෑලවර

Published in: on August 4, 2011 at 10:20 am  Leave a Comment  
Tags:

සිතක දෑලවර – ජීවිතේ පොත ගිලිහිලා

 

 

 

 

 

 

 

 

 

ජීවිතේ පොත ගිලිහිලා
මතකයේ පිටු පෙරලිලා..
අතීතයෙ ඇඳි කුරුටු සිතුවම්
අනේ තැන තැන විසිරිලා…

බැම්ම බිදිමින් ගලා ගෙන ආ
මහා වැව් වතුරක් වෙලා
නතර කරනට නොහැකි වේගෙන්
කාලයද මා යට කලා…

අසිහියෙන් මා හෙලු සුසුමන්
දිගේ පණනල පැවතුනා
හේතුඵල ලෙස හිතේ ඇතිඋනු
චෛතසික මම යැයි උනා

මුලාවෙන් වැතිරිලා ඒ මත
කලා රමනය භව පුරා…
ඉපිද මියෙමින් එහිම නිදමින්
අනේ එහි සැප සොය සොයා..

Published in: on October 19, 2010 at 11:03 pm  Leave a Comment  

සිතක දෑලවර – යලිත් එනුමැන

 

 

 

 

 

 

සිතෙන් බැසගිය තාරකාවිය
හදෙන් සමුගත්  දේවතාවිය
ලයේ කොතැනක හෝ සිටින්නට
යලිත් එනු මැන කින්නරාවිය..

සියොත් ගැයු ගී හමාරය දැන්
වසත් සමයේ මල්ද  මිලිනයි
දෙනෝදාහක් අතර වුව මා…
තනියමයි අද ….
යලිත් එනු මැන කෝකිලාවී..

වැයූ වීනා මියැසි නිම වී
සුසර තත් යුග බිඳි බිඳී…
නැගුනු සත්සර අතරමැද මා…
ගොළු හදින් අද
යලිත් එනු මැන මිහිරාවී….

Published in: on October 18, 2010 at 6:43 pm  Leave a Comment  

සිතක දෑලවර – නොදනිමි මා

 

සුළං පොදක් නැති වලාපොදක් නැති
ගිනියම් අහ‍සේ   පියාවිදා….
සරණ සි‍යොත් සේ  ගුවන අරා
ඉමකොන ‍නොදැනා කොතැන නවතිනා
නොදනිම් මා ….සිතපුරා…

දළු කොල මල් නැති වියැලුනු රුක් මුල
කෙලෙසක සෙවනක් ලැබගන්නේ…
ඉහට උඩින් දර ඉපල් වගේ අතු
කෙලෙසක වියනක් ඔසවන්නේ..
සිත පලා දුවන්නේ නිම්හිම් සොයමින්
ඉමකොන ‍නොදැනා කොතැන නවතිනා
නොදනිම් මා ..

විසුල කුසුම් නැති වස්සානයෙ විල්
කෙලෙසක සුවඳක් පතුරන්නේ..
පාලුව තනිකම වසා වෙලාගෙන
නිහඩ බවින් ඇයි රිදවන්නේ
සිත පලා දුවන්නේ නිම්හිම් සොයමින්
ඉමකොන ‍නොදැනා කොතැන නවතිනා
නොදනිම් මා .

Published in: on October 18, 2010 at 5:13 pm  Leave a Comment  

සිතක දෑලවර – වෙනස

 

 

 

 

 

 

 

 

 

නුවන් යුග විහිදුවා
දෙතොල් අග දිලිසුනා
ඉඳුවරය එසවිලා
මුතු සිනා පිබිදුනා…

සඳ සීතලෙන් දෙහද
කිලිපොලා වෙවුලුවා…

ඉකුත් වන කාලයේ
සියලු දේ වෙනස් වී
වස්සානයට පෙර
ග්‍රීස්මය එළඹිලා…

නුවන් යුග පියවිලා
දෙතොල් යුග දැඩිවෙලා
ඉඳුවරය තිගැස්මෙන්
මුතු කඳුලු වෑහෙනා..

හිරු මැදියමින් දෙහද
ගිනියම් ව වෙවුලුවා…

Published in: on October 17, 2010 at 4:20 am  Leave a Comment  

සිතක දෑලවර – ඔබේ අහිමි සෙවන

 

 

 

 

 

 

 

 

 

 

නවාතැන ලෙස ඔබේ හදවත
අසල නැවතී සෙවන සෙව්වත්  මං..
එතුල සිටි රුපු දනන් එලැඹී
අසුරු සැනකින් ඔබේ සෙවනින්
‍ඉවත දැමුවෙද මං….

සසර තරණය කලා මම දිගු
ඔබේ ලඟ මොහොතක් රැඳෙන්නට
සසර සුපුරුදු ඔබේ සුවඳට
ඉබේටම ඔබ ලඟට ආවද
ඔබේ කුටියේ කවුළු නැහැ නෙවැ
සසරෙ පෙර තිබු ලෙස හැරී….

කතර අභියස මහා ගින්දර
මැදින් ආවත් දිය සොයන්නට
සසරෙ පෙරදා ගලා ගිය ඒ
සුනිල්වන් දිය දහර වියැලී
කතරෙ නැහැ නෙවැ දිය පිරී
මිරිඟුවක් දැක මුලාවී..

Published in: on October 17, 2010 at 2:25 am  Leave a Comment  

සිතක දෑලවර – දෑස තවමත්

සදාකාලික දැවෙන ගින්දර
හදේ ගැමුරෙම ඇවිල යයි
පලිඟු මිනි වන් දෑස තවමත්
අඳුරු මතකයේ දොර හරියි…
තවම නැහැ සිත ඉන් මිදී..
තවම නැහැ මතකය මැරී…..
කාලයට උර නොදී සිටියත්
තාලයට නැගි රළ තරම්
අහස උසටම සොඳුරු මතකයෙ
පුරාවට ඔය නෙත් සැලෙයි..
තවම නැහැ සිත ඉන් මිදී..
තවම නැහැ මතකය මැරී…..
සිතින් අමතක කරන්නට මෙන්
කෙලෙස සිතුවත් සිත තරම්
මගේ දෙසවන් තුලට කොඳුරා
කියන වෙන අන් කෙනෙක් නෑ..
තවම නැහැ සිත ඉන් මිදී..
තවම නැහැ මතකය මැරී…..
Published in: on September 25, 2010 at 5:39 pm  Leave a Comment  

සිතක දෑලවර – දුක දැනුනි පමාවී

මල මනරම් නිසා
මල සුවඳ දුන් නිසා
තුඩ ඇනුනු කටුවෙ විෂ
නැහැ දැනුනෙ දුක කියා…
මල පරව ගිය නිසා
පෙති ගිලිහි ගිය නිසා
සුවඳ මනරම් හැඩය
අනේ නොපෙනී ගියා…
තුඩ ඇනුන කටුවෙ විෂ
සියොලඟම පැතිරිලා
දුක දැනෙන බව දැනුනෙ
ගිය පසුව පරවෙලා..

.

Published in: on September 8, 2010 at 3:19 pm  Leave a Comment  

සිතක දෑලවර – පහණ සහ පණනල

පහනද තිබුනා
වැටියද තිබුනා
තෙල් අවසන් වී
පහන් සිළ නිවෙයි….
පහනද තිබුනා
තෙල් එහි තිබුනා
වැටිය නිමා වී
පහන් සිළ නිවෙයි….
පහනද තිබුනා
තෙල් වැටි තිබුනා
මහ සුළඟක් විත්
පහන් සිළ නිවෙයි….
වැටියද තිබුනා
තෙල් එහි තිබුනා
පහන බිඳී ගොස්
පහන් සිළ නිවෙයි….
කිනම් අයුරකින්
කිනම් විදියකට
සොඳුර ඉතින් අපි
නික්ම යා යුතුයි…
Published in: on September 6, 2010 at 7:24 am  Leave a Comment  

සිතක දෑලවර – නතරවෙලා

වස්සානයට පායා
ගිම්හානයේ  ඇද හැලුන‍
මේ මුරුගසන් වැස්සට
තෙමුනු පාපයට දෝ‍
අපි විරසක උනේ…
සිනහව සෝදා කඳුල නැගෙද්දී
සැප සොම්නස දා සොවින් හඬද්දී
එක කුඩයක් යට කෙලෙස එක්ව යමිදෝ
කෑලි කැඩීගිය පෙමක් දරා…
දෝරෙ ගලා යන වැහි වතුරේ
අ‍පි තැබු පියවර දියවී යයි
ආපස්සට නැහැ….ඉදිරියටත් යනු බෑ
මහ වැස්සේ පෙම දියව ගියා
Published in: on August 30, 2010 at 2:25 am  Leave a Comment  
Follow

Get every new post delivered to your Inbox.